Tuesday, January 11, 2011

ඩොප්ලර් ආචරණය – Doppler effect

ඩොප්ලර් ආචරණය – Doppler effect

 

 නලාව නාද කරමින් ඔබ වෙතට පැමිණෙන රථයක නලා හඩෙහි සංඛ්‍යාතය වැඩිවන බවත්, ඔබෙන් රථය ඉවතට යන විට නලා හඩෙහි සංඛ්‍යාතය අඩුවන බවත්, ඔබට හැගී ඇතිබව නොඅනුමානය.

මෙසේ ප්‍රභවය (නලා ශබ්දය) හා නිරීක්ෂකයා (නලා ශබ්දය ශ්‍රවනය කරන්නා) අතර සාපේක්ෂව ඇතිවන චලිතය හේතුකොට ගෙන දෘෂ්‍ය සංඛ්‍යාතය (අපට ශ්‍රවනය වන ශබ්දය) ප්‍රභවයේ නියම සංඛ්‍යාතයට වඩා වෙනස් වීම ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ.

මෙය මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ 1842 දී ක්‍රිස්ටියන් ඩොප්ලර් නැමති භෞතික විද්‍යාඥයා විසිනි.

ප්‍රභවය නිරීක්ෂකයා වෙතට ලඟාවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවය වෙතට ලඟාවන විට හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම එකිනෙක වෙතට ලඟාවන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා වැඩි වේ.

ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලිතවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වන විට හෝ හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම ඉවතට චලිත වන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා අඩු වේ.

සියලුම තරංග වල ඩොප්ලර් ආචරණය සිදුවේ. එනම් ධ්වනි තරංග වල පමණක් නොව ආලෝක තරංග වලද මෙම ඩොප්ලර් ආචරණය සිදුවේ.

 

ඩොප්ලර් ආචරණයේ යෙදීම්

1. පොලිස් රේඩාර් මගින් චලනය වන වාහනයක වේගය නිර්ණය කිරීම
පොලිස් නිලධාරීන් සතුව ඇති රේඩාර් (RADAR- Radio Detection and Ranging ). තරංග උපකරණයකින් වේගය නිර්ණය කළ යුතු රථය වෙත, රේඩාර් තරංග නිකුත් කරයි. රථයෙන් පරාවර්තනය වනු ලබන මෙම තරංගයේ සංඛ්‍යාතය උපකරණය මගින් නිර්ණය කරයි. එමගින් රථයේ වේගය ගණනය කිරීමට වේග නිර්ණයකට (Speed detector) හැකිවේ.

2. වවුලන් අතිධ්වනි තරංග යොදා ගනිමින් ඩොප්ලර් ආචරණයට අනුව ඔවුන්ට ගොදුරුවන කෘමින් ආදී සතුන් හෝ පියාඹන වේගය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සිදුකරයි.

3. අතිධ්වනි තරංග යවා මව්කුස තුල සිටින දරුවකුගේ හෘද ස්පන්ධන වේගය නිර්ණය කිරීමට ඩොප්ලර් ආචරණය වැදගත් වේ.

4. රුධිර සෛලවල වේගය නිර්ණය කිරීම සඳහා
අතිධ්වනි තරංග දේහය තුලට යවා රතු රුධිර සෛල මගින් පරාවර්තන වී පැමිණෙන විට ඇතිවන සංඛ්‍යාත වෙනස මගින් රුධිර ප්‍රවාහයේ වේගය නිර්ණය කල හැකිය.

5. විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කිරීමටද ඩොප්ලර් ආචරණය යොදාගනී.


6. තාරකා වල භ්‍රමණ සහ උත්තාරණ වේගය නිර්ණයට ද යොදා ගනී.

 

 

 

1 comment:

  1. යෙදීම් ගැන සවිස්තර සටහනක් දැම්මොත් ඒක උ/පෙ කරන නංගිලා මල්ලිලාට තවත් වැදගත් වෙයි. කරන වැඩේ එල!

    ReplyDelete