Friday, December 16, 2011

ඓතිහාසික අසාධාරණයක්‌ නිවැරැදි කළ අවස්‌ථාවක්‌....


1815 වර්ෂයේ දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට යටත් වීමත් සමඟ සමස්‌ත ශ්‍රී ලංකාව ම යටත් විජිතයක්‌ බවට පත් විය. එහෙත් උඩරට ගිවිසුම නිසා තමන් පත් වූ අසරණ ස්‌වභාවය පිළිබඳව වටහා ගැනීමට හා ගිවිසුම මඟින් තමන් රවටනු ලැබූ බව වටහා ගැනීමට මේ උඩරට සිංහලයන්ට - විශේෂයෙන් උඩරට නායකයන්ට - එතරම් කාලයක්‌ ගත වූයේ නැත. එහි අවසන් (නැත හොත් පළමු) ප්‍රතිඵලය වූයේ 1817 වර්ෂයේ අවසන් භාගයේ දී පමණ ඉංගී්‍රසීන්ට එරෙහි ව උඩරැටියන් නැඟී සිටීම ය.

මේ ඓතිහාසික සිදු වීම ඇතැම් විට හඳුන්වනු ලබන්නේ 'උඩරට කැරැල්ල' නමිනි. විශේෂයෙන් වාර්ෂිකව යෙදෙන සංවත්සරවල දී ජනමාධ්‍ය ඔස්‌සේ අපට මේ වචනය අසන්නට ලැබේ. මේ අරගලයට හේතු වූ කරුණු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වී තිබේ. පෙර සඳහන් කළ පරිදි ම ඒ හේතු 1815 දී උඩරැටියන් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් ගිවිසුම දක්‌වා යයි. 1818 වර්ෂයේ අග භාගය දක්‌වා පැවැති මේ අරගලය කෙතරම් දරුණු වූවා ද යත් ඇතැම් අවස්‌ථාවල දී බ්‍රිතාන්‍ය පාලකයන් බෙහෙවින් අසරණ වූ බව පෙනේ. අවාසනාවකට මෙන් පාලනය කරගත නොහැකි වූ ඇතැම් හේතු නිසා මේ අරගලය අසාර්ථක විය. ඒ අතර පෞද්ගලික එදිරිවාදිකම් හා අපේ ජාතියේ දුබලකමක්‌ සේ වරින් වර මතු වන ෙද්‍රdaහිත්වය ද තිබේ.  


        

උඩරැටියන් ගේ මේ නැඟී සිටීම මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡ ක්‍රියා පටිපාටිය ද බෙහෙවින් විවේචනයට ලක්‌ ව තිබේ. ඔවුන් දරුණු ආකාරයෙන් උඩරැටියන් සමූල ඝාතනයක්‌ සිදු කළ බව වාර්තා වී තිබේ. එසේ ම ඉවක්‌ බවක්‌ නොමැති ව උඩරැටියන් ගේ දේපොළ හා භෝග වගා විනාශ කරමින් ඉංග්‍රීසීන් ක්‍රියාත්මක කළ 'බිම් පාළු' ප්‍රතිපත්තිය තවදුරටත් සටන් කළ නොහැකි තරම් උඩරට වැසියන් අසරණ බවට පත් කිරීමට හේතු විය.

මේ 'පූර්ණ යුද්ධය' හෙවත් මර්දනය නම් වූ ක්‍රියාවලිය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන අවස්‌ථා ඉන් පසුව ද අපට දැක ගත හැකි ය. 1848 වර්ෂයේ ඇති වූ මාතලේ නිදහස්‌ සටනේ දී හා 1857 දී ඉන්දියාවේ ඇති වූ අරගලය මර්දනය කිරීම සඳහා ද ඔවුන් යොදා ගත්තේ එවැනි ම ක්‍රියාවලියකි. (වර්තමානයේ දී වෙනත් රටවලට මානව හිමිකම් පිළිබඳව පෙන්වා දෙන මේ රටවල් ඉතිහාසය තුළ දී ක්‍රියා කර ඇති අන්දම පෙන්වා දීමට මේ අවස්‌ථා නිදසුන් වේ. එහෙත් එය වෙන ම මාතෘකාවකි)

බ්‍රිතාන්‍යයන් සිදු කළ මේ විනාශයට සාධකයක්‌ ලෙස කැප්පෙටිපොල හා මඩුගල්ලේ ගේ හිස්‌ ගසා දැමීම සම්බන්ධව ලංකා ගැසට්‌ පත්‍රයේ සඳහන් කරන කරුණක්‌ දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යයන්ට අනුව 'රුධිරය වරුසාවක්‌' හා 'මහා විනාශයක්‌' ඇති කිරීම සඳහා මේ

කැරැලි නායකයන් ගේ ක්‍රියාකාරිත්වය මුල් වී තිබේ. ඌව වෙල්ලස්‌ස ප්‍රදේශවලට කළ විනාශයේ තරම කෙතරම් ද යන්න මේ කැරැල්ල අවසන් වී තවත් බොහෝ කලක්‌ යනතුරු ඒ පළාත් පෙර පැවැති තත්ත්වයට පත් නො වීමෙන් පෙනේ.

දරුණු මර්දනයකින් හා පරාජයකින් අවසන් වුවත්, වසර දෙ සියයකට ආසන්න කාලයකින් පසුව වුවත් මේ අරගලය පිළිබඳව නො දන්නා අයකු නැති තරම් ය. තමන් උපන් රටේ ඉතිහාසය නූගත් පරපුරක්‌ ද අපේ රටේ ඇති නමුත් (ඒ වැඩි වශයෙන් 1980 හා 1990 දශකවල පාසල් අධ්‍යාපනය ලැබූවන් ය) ඔවුන් අතර පවා මේ ඓතිහාසික අරගලය පිළිබඳව කිසියම් තරමින් දන්නා පිරිස්‌ සිටිති. ඊට හේතුව මේ සිදුවීමෙන් වසර දෙ සියයක්‌ පමණ ගත වී ඇතත් උක්‌ත අරගලය තවමත් සමරනු ලැබීම පමණක්‌ ම නො වේ. තමන් උපන් රටේ අතීතය හා උරුමය පිළිබඳව යම් හෝ සංවේදීතාවක්‌ දක්‌වන්නවුන් හට මේ සිදුවීම වැදගත් සිදුවීමක්‌ වන නිසා ය.

කැරැල්ලක්‌ ද නිදහස්‌ අරගලයක්‌ ද?

ඇතැම් පොත් පත්වල හා අපේ ඇතැම් විද්වතුන් විසින් තවමත් මෙය 'කැරැල්ලක්‌' සේ හඳුන්වනු ලැබුව ද එය 'කැරැල්ලක්‌' නො වේ. නිදහස්‌ සටනක්‌ හෝ නිදහස්‌ අරගලයකි. ඒ සිදුවීම අවස්‌ථාවේ දී මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් හට මේ සිදුවීම ඔවුන් ගේ පාලනයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය. එසේ ම එය ඔවුන් ගේ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය.

එහෙත් මෙහි දී සත්‍ය වශයෙන් සිදු වූයේ තමන් හා තම දේශය යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදී (බ්‍රිතාන්‍ය) පාලනයට එරෙහි ව උපන් බිමේ නිදහස වෙනුවෙන් රටේ ස්‌වදේශිකයන් (උඩරැටියන්) කළ නිදහස්‌ සටනකි. එය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සිදු වූ පළමු නිදහස්‌ සටන සේ සඳහන් කළ හැකි ය. මේ සඳහා උඩරැටියන් අතර, විශේෂයෙන් ඌව වෙල්ලස්‌ස හා සත්කෝරලේ වැසියන් අතර, පැවැති සහභාගිත්වය මෙන්ම වැදි ජනතාව දැක්‌වූ දායකත්වය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ හැකි ය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට, එසේත් නැත හොත් සිංහලයන්ට, මෙය නිදහස්‌ සටනක්‌ හෙවත් නිදහස්‌ අරගලයක්‌ විය යුතු ය. කෙසේ වෙතත් අවාසනාවකට මෙන් කලක්‌ තිස්‌සේ මේ අරගලය හඳුන්වනු ලැබ ඇත්තේ ඉංග්‍රීසීන් විසින් යොදාගන්නා ලද "කැරැල්ල" යන වචනයෙනි. වාසනාවකට මෙන් මේ වන විට එය වෙනස්‌ වෙමින් තිබේ. 2008 වර්ෂයේ පටන් භාවිත කරනු ලබන 11 වැනි ශ්‍රේණියේ ඉතිහාසය පෙළ පොතේ මේ සිදුවීම 1818 නිදහස්‌ සටන සේ යථා පරිදි හඳුන්වා දී තිබේ. එය දේශයට ආදරය කරන කවරකු ගේ හෝ සිතක පහන් සංවේගයක්‌ ඇති වීමට හේතු වන බව නිසැක ය.

නිදහස්‌ අරගලයේ වීරයෝ

මේ අනුව 1818 නිදහස්‌ අරගලයට වීරයෝ ද සිටිති. ඒ තමන් ගේ සියල්ල අත්හැර, තමන් ගත් ක්‍රියාමාර්ගය නිසා මරණය වුවත් අත්විඳීමට වන බව දැන දැන මේ අරගලයට එක්‌ වූවන් ය. මෙහි දී කැප්පෙටිපොළ දිසාව ගේ භූමිකාව කැපී පෙනේ. ඔහු සමඟ තවත් දහස්‌ ගණනක්‌ මේ සටනට එක්‌ වූ අතර බොහෝ දෙනෙක්‌ එහි දී ජීවිත පූජා කළ හ. තවත් පිරිසක්‌ සිරගත කරන ලද අතර ඇතැම්හු පිටුවහල් කරනු ලැබූ හ. මේ වන විට අප විසින් ඔවුන් වීරයන් සේ සළලකනු ලැබෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක්‌ නො වේ. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් නිකුත් කරන ලද නිල නිවේදන අනුව ඔවුන් ෙද්‍රdaහීන් ය.

නිදසුනක්‌ ලෙස 1818 වර්ෂයේ ජනවාරි 10 දින දරණ නිකුත් කරන ලද ලංකා ගැසට්‌ පත්‍රය මඟින් කැප්පෙටිපොල දිසාව ඇතුළු තවත් 19 දෙනකු රාජෙද්‍රdaහීන් සේ නම් කර තිබේ. ඒ ෙද්‍රdaහී ලෙස කුමන්ත්‍රණ කිරීම හා කැරැලි ගැසීම යන චෝදනා නිසා ය. එ අනුව ඔවුන්

කැරැලිකරුවන්, අපරාධකරුවන් හා රාජාණ්‌ඩුවේ සතුරන් සේ නම් කරනු ලබන අතර, ඔවුන් ගේ ඉඩම් හා වෙනත් දේපොළ ආණ්‌ඩුවේ භාවිතය සඳහා රාජසන්තක කරනු ලැබ ඇත. (ඇතැම් අය ගේ දේපොළ හෝ ඉන් කොටසක්‌ පසු කලක ආපසු ලබා දුන් අවස්‌ථා තිබේ). උක්‌ත කැරැල්ල සමයේ දී මේ ආකාරයෙන් රාජෙද්‍රdaහීන් සේ නම් කරන ලද මුල් ම පිරිස ඔවුන් ය. ඒ ආකාරයෙන් රාජෙද්‍රdaහී චෝදනා ලද පිරිස ද විශාල ය.

එහෙත් මේ පිරිස අපේ රටේ වීරයෝ වෙති. භාවිතයේ දී ඔවුන් අද අපේ වීරයන් බව සත්‍යයකි. එහෙත් එය නිල වශයෙන් ද විය යුතු ය. මේ මිනිසුන් පිළිබඳව ජාතියක්‌ සේ ආඩම්බර වීමට අපට හැකියාව තිබේ.

මේ වන විට එවැනි ක්‍රියාවලියක්‌ දියත් වෙමින් තිබේ. අපේ මතකයේ හැටියට එවැනි උත්සාහයක්‌ මෑත දී අපට අසන්නට ලැබුණේ 2004 වර්ෂයේ අවසානයේ දී ය. එදා ඒ පිළිබඳව බෙහෙවින් සාකච්ඡා වූ නමුත් කිසියම් අප නො දන්නා හේතුවක්‌ නිසා මේ කාර්යය එදා ඉටු වූයේ නැත. එහෙත් පසුගිය නොවැම්බර් 26 දා කොළඹ දී පැවැති සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ 'ජාතික වීර ප්‍රණාම උළෙලේ' දී අපට අසන්නට ලැබුණේ දැන් එය යථාර්ථයක්‌ බවට පත් වන්නට යන බව ය. ඒ සඳහා නීතිමය ගැටලූවක්‌ නොමැති බව එහි දී ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව අදාළ නිල නිවේදනය ගැසට්‌ පත්‍රයක්‌ ලෙස ළඟ දී ම නිකුත් වනු ඇතැයි යන්න අපේ අපේක්‌ෂාවයි. දේශප්‍රේමීන් හා අපේ ඉතිහාසය දන්නා පිරිස්‌ අපේක්‌ෂාවෙන් පසු වන්නේ මේ පිරිස ෙද්‍රdaහීන් නො ව වීරයන් බවට පත් වන දිනය දැකගන්නට ය. එසේ ම මෙවැනි අරගලවලට නායකත්වය දුන් සෙසු වීරයන් පිළිබඳව ද මේ සාධාරණය ඉටු විය යුතු ය.

මේ නිදහස්‌ සටන මර්දනය කිරීම සඳහා මුල් වූ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් නමින් බ්‍රිතාන්‍යයන් විසින් පසු කලක කොළඹ නම් කර තිබූ මාර්ගය කැප්පෙටිපොළ පාර යනුවෙන් නම් කර මේ වන විට කලක්‌ ගත ව තිබේ. එසේ ම රටේ තැන් කිහිපයක, කැප්පෙටිපොළ හා තවත් නායකයන් සැමරීම සඳහා ස්‌මාරක ගොඩනංවා තිබේ. පාසල් හා වෙනත් ආයතන පවා ඔහු ගේ නමින් නම් කර තිබේ.

මෙය කිසියම් සංකේතාත්මක කරුණක්‌ පමණක්‌ විය හැකි ය. මෙවැනි නිදහස්‌ අරගලවල දී දිවි පිදූ පිරිස්‌ විශාල ය. ඒ ඇතැමුන් පිළිබඳ - බහුතරයක්‌ පිළිබඳව - කිසිදු සඳහනක්‌ ලියෑවී නො තිබීමට ඉඩ තිබේ. එහෙත් ඔවුන් අපේක්‌ෂා කළ හා අප අද ජීවත් වන නිදහස්‌ දේශය ඔවුන් වෙනුවෙන් නියඬ ව සාධක සපයයි. ඉදින් ඒ මිනිසුන් වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කිරීම අපේ යුතුකමක්‌ ද වේ.

2 comments:

  1. පැහැදිලිවම මෙය කළ යුතුව තිබුනේ මීට බොහෝ කලින්. අප නිදහස් වීත් දැන අවුරුදු 60 වැඩියි. මෙපමන කල් අප කුමක් කලාද? බූටෑවේ රටේ රාළ, වැනි මිනිසුන් ඇත්තෙන්ම අපේ වීරයන් විය යුතුයි. අපේ අධ්‍යාපන රටාවට වහාම හඳුන්වා දිය යුතුයි මෙවැනි වීරයන්. ඔබට බොහෝම පිං මේ ලිපිය ලියූවාට. ඒ අතරම ඌව වෙල්ලස්සේ ලක්ෂ ගනනක් ජනතාව වෙනුවෙන් රටේ නායකයන් උපහාර පිදිය යුතුයි. ඔවුන්ට රටේ ඉහළම පහසුකම් ඇති කළ යුතුයි. මේවාත් නිවැරදි වෙනවානම ඉතා හොදයි.

    ReplyDelete
  2. සුද්දගේ මානව හිමිකම් ගැන කථා නොකරන එකමයි හොඳ... ඒ තරම් අප්පිරියයි...! ලංකාවේ උතුරු නැගෙනහිර ත් එක්ක අඩුවෙන්ම සංවර්ධනය වෙලා තියෙන්නෙත් ඔය කියන ඌව වෙල්ලස්සම තමා... හේතුව මර්ධනය !!!

    හොඳ ලිපියක්... වැරැද්දක් නිවැරදි කරන්න මුල් වුනු හැමෝටම ස්තුතියි...!

    ReplyDelete